විෂයය - සංගීතය
පාඩම - මුල් යුගයේ ගුවන් විදුලි සංගීතය
ගුරු භාවතා - රංග ගුණවර්ධන
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/01
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 3.00-5.00
---------------------------------------------------------
සුභ සැන්දෑවක් වේවා 10 ශ්‍රේණියේ දරුවො හැමෝටම
සංගීත විෂය හදාරන දරුවො හැමෝම මාත් එක්ක එකතු වෙන්න. අපි දැන් පාඩම ආරම්භ කරමු.
ව්‍යවහාරික සංගීතය කොටසේ මෙම පාඩම සටහන් කරගන්න හැමෝම.
මුල් යුගයේ ගුවන් විදුලි සංගීතය
ශ්‍රී ලාංකීය රසික රසිකාවියන්ගේ සිත් සතන් ආකර්ශනය කල ග්‍රැමෆෝන් සංගීතය ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සමාරම්භයත් සමග ක්‍රමයෙන් යටපත් විය.ග්‍රැමෆෝන් සංගීතයෙන් ගුවන් විදුලි සංගීතයට මහගු පිටුවහලක් ලැබුණු අතර ග්‍රැමෆෝන් සංගීතයෙන් ගුවන් විදුලි සංගීතයට මූලික පදනම හා ඊට අවශ්‍ය පසුබිම නිර්මාණය වුණි.ශ්‍රී ලාංකීය රසික සහෘදයින්ගේ දෙසවන් සනහාලූ ග්‍රැමෆෝන් ආධිපත්‍යය ක්‍රි.ව. 1925 දෙසැම්බර් 16 වන දා ආරම්භ වූ ගුවන් විදුලි සේවය තම අණසකට ගෙන එමගින් ශ්‍රී ලාංකිකයන්ට නැවුම් අත්දැකීම් තුළින් නව යුගයක් උදාවිය.
ගුවන් විදුලි සංගීතයෙහි සරල ගීතයට මූලික අඩිතාලම,පදනම දැමීමට පුරෝගාමීව ක්‍රියා කරනු ලැබුවේ ආනන්ද සමරකෝන් සූරීන් හා සුනිල් ශාන්ත සූරීන් යන සංගීතවේදීන් විසින්ය.මීට අමතරව ලාංකීය ගුවන් විදුලි සංගීතයට දායක වූ සංගීතවේදීන් හා ගායක ගායිකාවන් ලෙස ජී.ආර්.එඩ්වඩ්,සූරිය සංකර් මොල්ලිගොඩ,ලීලාවතී,ආර්.ඒ.චන්ද්‍රසේන,ඩබ්.ඩී.අමරදේව යන කලාකරුවන් ලෙස දැක්විය හැක.
*මුල් යුගයේ ගුවන් විදුලි සංගීතය සදහා සුනිල් ශාන්ත සූරීන්ගේ දායකත්වය
ලාංකීය ගුවන් විදුලි සංගීතයට නව අරුතක් ගෙන දෙමින් සුභාවිත ගීතය පෝෂණය කල සුනිල් ශාන්තයන් හෙළ ගී ලොවේ හෙළ බස සමග පෙරළියක් කල විද්වතෙකි.නිවැරැදි වියත් භාෂාවෙන් ගී පද මාලාවට උචිත මධුර ගී තනු වලින් ඔහුගේ ගී නිර්මාණයන් විචිත්‍රවත් විය.
මෙතුමා දේශීය සංගීතයක් ගොඩනැංවීමෙහි ලා මූලිකත්වය ගෙන කටයුතු කල අතර ලාංකීය ගුවන් විදුලි සංගීතය තුළින් මෙතුමා දේශීය අනන්‍යතාව පිළිබිඹු කිරීමට කටයුතු කරන ලදී.සුනිල් ශාන්තයන් ගැයූ "ඕලු පිපීලා විල ලෙළ දෙනවා" නම් ගීතය ශ්‍රී ලංකා ගුවන් විදුලියේ පටිගත කල ප්‍රථම සරල ගී නිර්මාණය වේ. ඉන්දියාවේ ශාන්ති නිකේතනයෙන් සංගීත අධ්‍යයනය ලැබූ සුනිල් ශාන්තයන් සිංහල ගීත කලාව තුළ දේශීය හඩ ඉස්මතු කිරීමට සමත් විය. ඔහුගේ ගී තනු තුළ පැවති සුලලිත බව,සරල බව හා ලයාන්විත මධුරතා ගුණය සරල ගී නිර්මාණයන් තුළින් මනාව පිළිබිඹු විය.
සුනිල් ශාන්ත සූරීන් විසින් ගුවන් විදුලි සංගීතයට ගායනා කල ප්‍රකට සරල ගී නිර්මාණන් කිහිපයක් මෙසේය.
* කෝකිළයන්ගේ කෝකිළ නාදේ...
* ලංකා ලංකා පෙම්බර ලංකා...
* දකුණ නැගෙනහිර...
* එම්බා ගංගා...
* ඕලු පිපීලා...
* මල් පිබිදී ගෙන එන්නේ...
* සුවද රෝස මල් නෙළා...
* නැලවී සැනසෙන්නේ...
* වරෙන් හීන්සැරේ...
මෙතුමන් විසින් රචිත සුනිල් ගී,රිදී වළාව,සුනිල් හඩ,ගුවන් තොටිල්ල,මල් මිහිර,ගංගා ගීතය යන කෘති තුලින් ඔහුගේ සංගීත කලා කෞෂල්‍යය හා නිර්මාණශීලී කුසලතාවය මනා විද්‍යාමාන වේ.
* මුල් යුගයේ ගුවන් විදුලි සංගීතය සදහා ආනන්ද සමරකෝන් සූරීන්ගේ දායකත්වය
ශ්‍රී ලාංකීය ගුවන් විදුලි සංගීතය තුළින් දේශීය සංගීතයක් ගොඩනගමින් සුභාවිත ගීතය පෝෂණය කල විද්වතෙකු ලෙස ආනන්ද සමරකෝන් සූරීන් හැදින්විය හැක.ආනන්ද සමරකෝන් සූරීන් සිංහල නිර්මාණ සංගීතයෙහි පියා ලෙස ගෞරවයට පාත්‍ර වන අතර මෙතුමා දේශීය සංගීතය උදෙසා දැඩි උද්‍යෝයකින් කටයුතු කල කලාකරුවෙකි. භාරතීය ශාන්ති නිකේතනයෙන් සංගීත අධ්‍යයනය ලැබූ මෙතුමා "හෙළ ජන ගී ආර" සමග සමීපව වංග සංගීතයේ ආභාසයෙන් සිංහල සංගීත ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් ගුවන් ව්දුලි සංගීතය නව මගකට යොමු කිරීමට සමත් විය. විදේශීය සංගීත සම්ප්‍රදායන්ගෙන් මිදී දේශීය අනන්‍යතාවය රැකෙන පරිදි ගී තනු නිර්මාණය කල මෙතුමා ගී පද රචනයෙන්,තනු නිර්මාණයෙන් හා ගායනයෙන් ස්වකීය සංගීත කලා කෞෂල්‍යය හා ප්‍රතිභා පූර්ණ කුසලතාවය මනාව පිලිබිඹු කිරීමට සමත් විය.එතුමන්ගේ ගීත ප්‍රබන්ධ වල සරල,සුගම,සුලලිත බව හා රසවත් බව මනාව ගැබ්වී පැවතුණි.එම නිසා ආනන්ද සමරකෝන් සූරීන්ගේ ලයාන්විත වූ මධුර හඩ රසික ජන මනස ආකර්ෂණීය කර ගැනීමට සමත් විය.ශ්‍රී ලංකා ජාතික ගීයෙහි ද නිර්මතෘවරයා වූ මෙතුමා ස්වාධීන ස්වතන්ත්‍ර ගී තනු තුළින් ශ්‍රී ලාංකිකයන්ගේ ජනාදරයට පාත්‍ර විය.
ආනන්ද සමරකෝන් සූරීන් විසින් ගුවන් විදුලි සංගීතයට ගායනා කල ප්‍රකට සරල ගී නිර්මාණන් කිහිපයක් මෙසේය.
* කරුණා නදියේ පැදයාම...
* එන්ඩ ද මැණිකේ මමත් දියඹටා...
* සුනිල ගුවනෙ පායා...
* අක්කෙ අක්කෙ අර බලන්නකෝ...
* බැස සීතල ගගුලේ...
* පුංචි සුදා සුදු කැටියා...
* ඇසේ මධුර ජීවනයේ ගීතා...
* විලේ මලක් පිපිලා...
ශ්‍රී ලාංකීය ගුවන් විදුලි සංගීතය තුළින් ලාංකීය අනන්‍යතාව හා දේශීය සංගීතය අවධි කල යුග පුරුෂයන් දෙපළක් ලෙස සුනිල් ශාන්ත සූරීන් සහ ආනන්ද සමරකෝන් සූරීන් ශ්‍රී ලාංකීය සංගීත ඉතිහාසයට එක් වනු ඇත.
මුල් යුගයේ සරල ගී වල ස්වභාවය
මුල් යුගයේ සරල ගීත වල පද මාලාව පිලිබඳ විමසා බැලීමේදී ඒ සදහා විවිධ තේමාවන් මත ගී පද මාලා නිර්මාණය වී ඇත. ඒ සදහා දේශානුරාගය,මව් පිය ගුණ,ස්වභාව සෞන්දර්ය,ආගම භක්තිය දනවන බොදු බැති ගී හා ප්‍රේමය ආදරය යන තේමාවන් මත ගී නිර්මාණයන් බිහිවිය.
මුල් යුගයේ ගුවන් විදුලි සරල ගීතයේ නාද මාලා පිළිබඳ අවදානය යොමු කිරීමේදී බොහෝ ගීත වල පෙර වාදනයක් (Introduction) නොමැති අතර ඇතැම් ගීත වල මුල් වාදන අතුරු වාදන සදහා ගීතයේ ස්ථායී කොටස (Chorus) හෝ අන්තරා කොටස (Verse) යොදා ගන්නා ලදී.ඇතැම් ගීත කිසිදු පෙර වාදනයක් නොමැතිව ගීතයේ ස්ථායී කොටසින්ම ආරම්භවීම ද විශේෂත්වයකි.කටහඩ ප්‍රබලව උද්දීපනය වූ අතර ලාංකීය වාද්‍ය භාණ්ඩ වල හඩ පහල මට්ටමක පැවතුණි.වාද්‍ය භාණ්ඩ ඉතා සීමිත ප්‍රමාණයක් එනම් අඩු වශයෙන් භාවිතා කල අතර එය එසේ වන්නට ඇත්තේ කටහඬට,ගායනයට ප්‍රමුඛත්වය දීම සදහාය.කටහඩ පිළිබඳව අවධානය යොමු කිරීමේදී මුල් යුගයේ සරල ගීත වල ගායක ගායිකාවන්ගේ ගායනයන් තුළ හඩ පාලනය,ලෙළවීම් හා ඉතා සියුම් අලංකායන් (variations) ඉතා අල්ප මට්ටමක පැවතුණු අතර ගායන ශිල්පීය ක්‍රම හා ප්‍රායෝගික පුහුණුව නොමැතිවීම ගීත වල දක්නට ලැබුණු සුවිශේෂී ලක්ෂ ලෙස පෙන්වා දිය හැක.
ඇතැම් ගීත වල ස්ථායී කොටසේ නාද මාලාවම ගීතයේ අන්තරා කොටස දක්වා භාවිතා කිරීම සුලබ ලක්ෂණයක් විය.කෙසේ නමුත් මුල් යුගයේ දී සරල ගී නිර්මාණයන් තුළ පැවති යම් යම් දුර්වලතාවන් මග හැර සරල ගීතය ක්‍රමිකව වර්ධනය වෙමින් යුගයෙන් යුගයට අවතීර්ණ වෙමින් ගීත කලාව පෝෂණය වූ බව සදහන් කල හැක.
එහෙනම් පුතේ අදට පාඩම අවසන්.හැමෝම මේ සටහන හොදින් ලියා අධ්‍යයන කරන්න.
හැමදෙනාටම තෙරුවන් සරණයි.
ආයුබෝවන් 🙏
නියමයි....
ReplyDelete