පාඩම - 14 පාඩම
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමිපන්තිය පැවැත්වූ දිනය - 2020/05/26
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 8.00- 11.00
------------------------------------------------------------
ලෝක සාහිත්‍යය විෂයෙහි ඉතාමත් ප්‍රබල ජනකාන්ත සාහිත්‍යාංගයක් ලෙස කෙටි කතාව වැදගත් වේ. කෙටි කතාව යනු කුමක් දැයි විමසා බැලීමේ දී අවධානයට ගත හැකි නිර්වචන තුනක් පහත පරිදි පෙන්වා දිය හැකි ය.
01. “ජීවිතයේ පෙත්තක් නිරූපණය කිරීම කෙටි කතාව යි.”
(ඇන්ටන් චෙකොෆ්)
02. “මානව ජීවිතයේ සමීප රූපයක් ගෙන හැර පෑම කෙටි කතාව යි.”
(දයාසේන ගුණසිංහ)
03. “මානව ජීවිතය පිළිබඳ විවරණය කෙරෙන අංශු මාත්‍රයක් වූ කලී කෙටි කතාව යි.”
කෙටි කතාවක ස්වභාවය වන්නේ කුමක් දැයි ජෝසෆ් බර්ග් එසනීන් ගේ ප්‍රකාශයෙන් වඩාත් හොඳින් විග්‍රහ වෙයි. ඔහුට අනුව කෙටි කතාවක අන්තර්ගත විය යුතු අංග මෙසේ ය.
01. සියල්ලට ඉහළින් මතු වී පෙනෙන එක් ප්‍රබල සිදුවීමක්
02. සියල්ලට ඉහළින් මතු වී පෙනෙන එක් ප්‍රබල චරිතයක්
03. මනා ලෙස සංවිධානය වූ කථා වින්‍යාසයක්
04. ඒකීය ධාරණාවක්
මෙකී අංගවලින් සමන්විත ගද්‍ය නිර්මාණ විශේෂය කෙටි කතාව ලෙස හඳුනාගත හැකි බව බර්ග් පෙන්වා දෙයි.
මේ ආකාරයෙන් හඳුනාගත හැකි කෙටි කතාව පිළිබඳ විමර්ශනය කරන විට ඒ තුළ අන්තර්ගත විය යුතු අංග ලක්ෂණ කිහිපයක් පහත පරිදි අංකනය කළ හැකි ය.
01. කතා පුවත හෙවත් ප්‍රවෘත්තිය
02. කතා වින්‍යාසය හෙවත් කතා වස්තුව
03. දෘශ්ටිකෝණය
04. චරිත හා අවස්ථා නිරූපණය
05. නිර්මාණාත්මක බස් වහර
06. ජීවන දෘශ්ටිය
මෙම ලක්ෂණ කෙටි කතාවක අත්‍යාවශ්‍ය අංග ලෙස හඳුනා ගත හැකි අතර මේවා යටතේ කෙටි කතාවක ස්වභාවය කුමක්ද යන්නත් හඳුනාගත හැකි ය.
කෙටි කතාව කලාවකි. එලෙස හඳුනාගන්නේ එය සාහිත්‍ය නිර්මාණ විශේෂයක් වන බැවිනි. සාහිත්‍යය කලාවකි. කලාවෙන් සිදු වන්නේ සහෘදයා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යාම යි. ජීවිතය පිළිබඳ ගැඹුරු පරිඥානයක් ඇති කෙරෙන කෙටි කතාව මගින් ද සමාජගත මානවයා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යා යුතු ය. කෙටි කතාව අර්ථ පූර්ණ කලාවක් ලෙසට නිර්මාණය වන්නේ එවිට යි.
Audio 1 🔊
Audio 2 🔊
Note 1 📚
Audio 3 🔊
Audio 4 🔊
No comments:
Post a Comment